History

වෙල්ලස්සේ පොතුබන්ධන සංඝ පරම්පරාව

ඌව වෙල්ලස්ස බින්තැන්න නම් වූ ප්‍රදේශය ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ, රමණිය කඳු පන්තියෙන් අවරගිරෙහි සතුරන්ට බැඳි පවුරක් ලෙසින් හෙබි පෙරදිග දෙසට විහිදී ඇති අඩ තැනිතලා භූමියකි. මධ්‍ය කඳුකරයේ පෙරදිගින් බැසගත් මිණිකැට හඳපත්ලේ සඟවා ගත් රිදීවන් නදියන් ගෙන් පෝෂිත, බත බුලතින්, ඵල වලින් හා ඖෂධ ඈ නන් දෙයින් ද දනන්ගේ කුස පිරූ හා සැමට අවැසි බත සැපයූ කෙතින් ද සශ්‍රීක වූ මේ රමණීය භූමිය ශ්‍රී ලක්දිවෙහි උයන යන නාම විරුදාවලියෙන් පිදුම් ලැබුවා වූ ද බුදු සිරිපා පහස ලද දුටුගැමුණු, සද්ධාතිස් ඈ නරපතියන් සටන් වැදි හ. අස්වද්දනු ලැබූ වෙල්ලස්සක් බවට ද ලොවෙහි ප්‍රකට වේ. 
 
දෙවන පෑ තිස් නරනිදුන් කළ ඇරඹි ශාසනික, ආගමික ප්‍රබෝධය නිසාවෙන් සිය දහස් ගණනින් මහ රහතුන් වහන්සේලා සහ සංඝ පිතෘන් වහන්සේලා වැඩ සිට වනගත ගල්ලෙන හා බැදි ආරාම සහ වෙහෙර විහාර පිහිටි භූමිය ද මෙකී වෙල්ලස්සයි.
පෙරදිගින් මහා සයුර දක්වාත් දකුණු දෙසට මාගම දක්වාත් උතුරට මහා වාලුකා නදී තීරය දක්වාත් භූමිය තුළ දිවි ගෙවූ ජනයා එකල වැඩ විසූ මහ රහතන්න වහන්සේලාගේ හා ධර්මධර, විනයධර සුපේෂල ශික්ෂාකාමී සංඝ පීතෘන් වහන්සේලාගේ අවවාද අනුශසකත්වය තුළින් දිවි ගෙවූහ. එවන් ධෛර්ය සම්පන්න ගුණගරුක මිනිසුන්ගේ දහදිය කඳුළින් ගොඩනැගී තිබූ සශ්‍රීක වූ භූමිය කලින් කල ඇති වූ පර සතුර  උවදුර නිසා ද, අළුවී නැසී ගිය සැටි නම් වංශ කතා ඇසුරින් සනාථ වන හෙයින් අති මහත් බියකරු බවක් ද ගෙන දෙන්නේය. කලින් කල පහළ වූ නරපතියන්ගේ ශාසනික ඇල්ම හා විනාශය නිසාවෙන් එසේ සිදුවන්නට ඇත.
දෙවන පෑතිස් රාජ්‍ය සමයේ පොතුබන්ධන රාජ මහා විහාරය, දෙගල්දොරු විහාරය නමින් හැදින්වීය. එම රජු විසින් කොටසර විහාරය, බුද්දම විහාරය, මඟුල්මල් විහාරය, මුප්පනේ රාමහා විහාර ඉදිකළ බව සඳහන් වේ. කලක් දියුණුවට තිබූ මෙම විහාරස්ථාන කාවන්තිස්ස රජතුමා සව්න් වැඩි දියුණු කරමින් විශාල ශාසනික සේවාවක් කරන ලදි. එකල මුහ රහතන් වහන්සේලා පන්සිය නමක් පොතු බන්ධන රාජ මහා විහාරයේ වැඩසිටි බවද සඳහන් වේ.
වළගම්බා රජු සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලද අතර ලක්දිවෙහි ස්ථාන දෙකකදි එය සිදු විය. එයින් එක් ස්ථානයක් ලෙස රජ රට මාතලේ අළු විහාරයත් රුහුණු රට පොතු බන්ධන විහාරයත් ඒ සඳහා
යොදා ගන්නා ලදි. මැටි වලින් පොත් තනා, බැදි නිසා පොත් බැඳි ස්ථානය පොතු බන්ධන ලෙස ව්‍යවහාර කරන්නට ඇතැයි සැලකේ. එතැන් සිට ඇරඹි ශාසනික හා ආගමික දියුණුව පළමුවන සීතාවක රාජ්‍ය සමය දක්වා පැවතිනි. ඉන්පසු එම රජු තම සොහොයුරන් දෙදෙනාත් පිය රජතුමාත් මරණයට පත් කරන ලදි. එම පීතෘ ඝාතනයේ පාපය නැතිකර ගන්නට වෙහෙස වූ විට මහා සංඝයා වහන්සේලා එසේ නොකළ හැකි බව දැන්වූ පසු කිපුණු රජු හින්දු
පූජකයන්ගේ සහාය පැතුවේය. එම පාපය කමා කළ හැකි බැ ඔවුන් දැන්වූ පසු බුද්ධ ශාසනය විනාශ කොට සියලුම සංඝයා වහන්සේලා දෙදෙනා වහන්සේ බැගින් එක්කොට බැඳ දියේ ගිල්වා මරණයට පත් කරන ලදී.
එහිදී බිබිලේ පියදස්සී නමින් වැඩ විසූ සංඝපීතෘන් වහන්සේ සහ උන් වහන්සේගේ ශිෂ්‍ය හිමිවරු හැට නමක් බිඛිල ප්‍රදේශයේ වැඩ විසූ අතර පියදස්සී ස්වාමීන් වහන්සේ ද සෙසු ස්වාමීන් වහන්සේලා ද මරණයට පත් කළහ. එම අවදියේ සංඝකිර්ති නමින් වැඩවිසු ස්වාමීන්වහන්සේ සිවුර හැර දමා සුදුවතින් සැරසී පන්සලෙහි තිබූ පිරිත්හුය, විනය පිටකය, සධාතුක කරඬුව, ජාතක පොත් වහන්සේද වැඩමවාගෙන කොකුනේ වැව ප්‍රදේශයේ තමන්ගේ ඥාතින් ළගට ගොස් සිල් රකිමින් වන ගත වී දිවි රැකගත්හ.
කීර්ති ශ්‍රී රජු දවස උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා සිවු නමක් සොයා ගැනීමට නොහැකි වූ නිසාවෙන් දූත කණ්ඩායමක් සිය ර්දේශයට යවා උපාලි තෙරුන් වහන්සේ ඇතුළු භික්‍ෂුන් වහන්සේලා විසි නමක් ලංකාවට වැඩම කරවන ලදි. ශ්‍රී වීරපරාක්‍රමබාහු නරේන්ද්‍රසිංහ රාජ්‍යත්වයේදි සෙත් පිරිත් දේශනාවට ස්වාමීන් වහන්සේලා සොයා අඬබෙර ගැසුවේය. ඒ අනුව කොකුන් නෑව ප්‍රදේශයේ උපාසිකා මාතාවක් අඩ බෙරය නවතා තතු විමසා සිල්වත් හාමුදුරුනමක් දීමට හැකි බවත් ප්‍රකාශකොට තල්පතක ලිපියක් ලියා රජු වෙත යවන ලදි. ඒ අනුව සංඝකීර්ති නමින් වූ සිල්වත් තැන මහනුවරට වඩම්මවන ලදී.
වෙල්ලස්සෙන් උන් වහන්සේද, කන්ද උඩරටින් සංඝරාජ ස්වාමීන් වහන්සේද, ගාල්ලෙන් මලිත්තේ ස්වාමීන් වහන්සේද, කොත්මලේ ස්වාමීන්
වහන්සේද වඩම්මවා සෙත් පිරිත් දේශනා කරවා ගන්නා ලදි. එහිදි රජතුමා මහත් සේ ප්‍රසාදයට පත්ව පැහැද දානමානාදියෙන් සංග්‍රහ කොට පිරිකරද පූජා කළේය.
රජතුමා ස්වාමීන් වහන්සේලාගෙන් තොරතුරු විමසා සිටි කල්හි ”මහනකම තිබුණත් අපහට උපසම්පදාව නොමැති යැයි ද පැවසුහ. එවිට සියම් දේශයෙන් උපාලි තෙරුන් වහන්සේ ප්‍රමුඛ විසිනමක් තෙරුන් වහන්සේලා වඩම්මවා රජුගේ මල් උයනෙහි සීමා මාලකය තනවා එහිදි වැලිවිට සරණංකර ස්වාමීන් වහන්සේ පළමුව උපසම්පදා කළේය. ඉන්පසු උන් වහන්සේගේ ශිෂයන් ලෙසින් අගෙන් ස්වාමින්වහන්සේලා තුන්නම උපසම්පදා ශිලයේ පිහිටවූහ. 
සංඝකීර්ති ස්වාමීන්වහන්සේ ටික කලක් මහනුවර වැඩ වාසය කොට වෙල්ලස්සට වැඩම කළේය. එම අවස්ථාවේ රජතුමන් විසින් සතුටු පඬුරු ලෙසින් ලෝහමය කරඬුවක්, රිදිමුවා සධාතුක කරඬුවත්, රන් පොතු පිළිම වහන්සේ දෙනමත්, දළ මිටි වටාපතකුත් පළස් ඇතිරියක් සහ පරිහරණය සඳහා ලෝහමය මුට්ටියක් හැදි දෙකක් සහිත හට්ටි දෙකක් ද පූප් කරන ලදින් එම පූජා භාණ්ඩද වඩම්මවාගෙන කොකුන්ගේ වැව ප්‍රදේශයට පැමිණියහ. එහි ටැම්පිට විහාරයක් ඉදිකොට සධාතුක කරඬුව සහිත පූජා භාණ්ඩ එහි තැන්පත් කොට නිති පූජා සත්කාර කළහ.
සංඝකීර්ති ස්වාමින්වහන්සේගේ ශිෂ්‍යයන් ලෙසින් ඛණ්ඩිගොඩේ නීග්‍රෝධ ස්වාමින් වහන්සේ සහ කුරුවාඹේ ධම්මපාල ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ වූහ. ඛණ්ඩිගොඩේ නීග්‍රෝධ ස්වාමින්වහන්සේ වන වැදී පැවති පොතුබන්ධන විහාරස්ථානය එළි පෙහෙළිකොට සංවර්ධනය කරන ලදහ. ඒ අනුව පොතුබන්ධන සංඝ පරම්පරාව ආරම්භ වන ලදි. 
කුරුවාඹ ධම්මපාල ස්වාමින් වහන්සේ තම ඥාතීන් වෙසෙන කොටගම ප්‍රදේශයට වැඩමකොට එහි විහාරස්ථානය ඉදි කළහ. උන්වහන්සේ ගේ ඥාතීන් හා ගැමියන් විසින් නටඹුන්වී ගොස් තිබූ කොටසර පියන්ගලු රාජ මහා විහාරය එළි පෙහෙලි කොට ධම්මපාල ස්වාමීන් වහන්සේ එහි වැඩම කළහ.
ඒ අනුව වෙල්ලස්සේ ප්‍රධාන සංඝ පරම්පරා දෙකක් පහළ වූහ. එකල්හි දිඝවාපිය රාජමහා විහාරය පොතු බන්ධන විහාරයටත්, කතරගම කිරි වෙහර කොටසර විහාරයටත් සන්නස්‌ මගින් පූජා කරන ලදහ. එහෙයින් අපගේ සම්බුදු පියාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ සොළොස්මස්ථාන අතුරින් ශුද්ධභුමි දෙකක් වෙල්ලස්ස සතුව අදත් පවතින්නේය.
සංඝකීර්ති ස්වාමීන් වහන්සේගේ තවත් ශිෂ්‍යයන් වහන්සේලා කිහිපනමක් අතරින් ඛණ්ඩිගොඩේ නීග්‍රෝධ හිමියන්ගේ ශිෂ්‍යයන් වහන්සේලා ද කිහිප නමකි. උන් වහන්සේලා අතර පම්මැඩිල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේ නාගල හා විලෑතිගොඩ පූජනීය විහාරස්ථාන ශුද්ධ පවිත්‍ර කර සංවර්ධනය කළහ.
එසේම කින්නරබෝවේ විහාරස්ථානයද ඉදිකරවන ලදි. පම්මැඩිල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය වරයෝ කීප නමකි. ඒ අතර කොන්නේ වැව බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ එහිම වැඩ විසූහ. උන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ වූයේ වාස්පුහේ ගෙදර ස්වාමීන් වහන්සේය. සෙසු ස්වාමීන් වහන්සේලා වූයේ කින්නරබෝවේ ජිනරතන  ‌ස්වාමීන් වහන්සේත් කින්නරබෝවේ සුමනතිස්ස ස්වාමින් වහන්සේතය. 
කින්නරබෝවේ සුමනතිස්ස තෙරුන් වහන්සේ එකල ඉතාම චතුර ලෙසින් ධර්මය දේශනා කිරීමට දක්‍ෂ පක්‍ෂ කථිකත්වයකින් අග තැන්පත් ප්‍රසිද්ධ හිමිනමකි. උන් වහන්ස් මහියංගනය දක්වාත් නැගෙනහිර දීඝවාපිය දක්වාත් වෙල්ලස් බිම්තැන්න ප්‍රදේශයේ ධර්මය දේශනා කරන අතර බිබිලේ රටේරාලගේ වලවේවේද ධර්ම දේශනාවන් කිරීමෙහිද යෙදුනාහ. එයින් පැහැදුනු බිබිලේ රටේ රාල ක්‍රිව. 1925 වර්ෂයේදී බිබිලේ අද පවතින බෝධය අසල ආවාසයක් කරවා කින්නරබොවේ සුමනතිස්ස ස්වාමීන්වහන්සේ එහි වැඩමා වස්වස්සන ලදී. එයින් ඇරඹි බිඛිල ශ්‍රී බෝධිරුක්ඛාරා විහාරස්ථානය අද දක්වා දියුණු පමුණු වී ඇත්තේය. 
කින්නරබෝවේ ජිනතරන ස්වාමීන් වහන්සේ දොඩගාල්ලට වැඩමකොට එම ස්ථානය දියුණු කරමින් ශාසනික මෙහෙවරහි යෙදුණාහ. උන් වහන්සේද ශිෂ්‍ය පරම්පරාවක් ශාසනික මෙහෙවරට දායද කළහ.
කින්නරබෝවේ සුමනතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා කිහිප නමකි. ඒ පිටදෙනියේ රතනපාල ස්වාමීන් වහන්සේද, නයින්වෙල රේවත ස්වාමින් වහන්සේද ඉන් ප්‍රධාන වේ. බදුල්ලගම්මන අත්තදස්සී ස්වාමීන් වහන්සේ මුල්ලේගමට වැඩම කට එහි පන්සලක් ඉදිකර රත්මල්ගහ ඇල්ල, ඕවාගිරිය, පොල්වත්ත ආදි පන්සල් ඉදිකර සංඝ පරම්පරාවක් එම ප්‍රදේශවල බිහි කරන ලදි. 
නයින්නේවෙල රේවත ස්වාමින් වහන්සේ බිබිල බෝධිරුක්ඛාරාමයට වැඩමවන ලදි. එහි වැඩ වාසය කරමින් එකල පන්සලට පැවැති තර්ජන ගර්ජන මැඩලමින් පන්සල රැකගත්හ. උන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා පස් නමකි. ඒ අතර සේනාපතියේ ජිනරතන ස්වාමීන් වහන්සේද, ධම්මජෝති ස්වාමින් වහන්සේද, බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේද, ගූණනන්ද ස්වාමීන් වහන්සේ හැර අනෙක් තිදෙනා උපවැදි වූහ. 
සේනාපතියේ ජිනරතන ස්වාමින් වහන්සේ කලක් බෝධිරුක්ඛාරාමයේ වැඩ හිඳ වන සතුන් ගහන වෙහෙර පොකුණ ප්‍රදේශයට වැඩම කර එහි ආරාමයක් තනවා ශාසනික මෙහෙවරෙහි යෙදුණහ.
ජිනරතන ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය වරයන් වහන්සේලා කිහිප නමකි. එනම් කුඩාවිල හේමාලෝක ස්වාමින් වහන්සේද, සෝමාලෝක ස්වාමීන් වහන්සේද , ධම්මාලෝක ස්වාමින් වහන්සේද, ඉන් ප්‍රධාන වේ. කුඩාවිල හේමාලෝක ශිෂ්‍යවරයන් වහන්සේ උඩුවර පරිවේනස්ථානයේ අධ්‍යාපනය හදාරමින් සිංහල, පාලි, සංස්කෘත වැනි භාෂාවන්ද හදාරමින් ද ත්‍රිපිටකය මැනවින් හදාරමින් ද විශිෂ්ටත්වයෙන් පෙරට ගමන් කළහ.
බෝධිරුක්ඛාරාමයේ වැඩ සිට රේවත නායක ස්වාමින් වහන්සේගේ පශ්චිම කාලයෙහි පන්සලේ පරිහානායට ලක්මෙන් පැවැති යුගයක් විය. එම අවධියේ කුඩාවේල හේමාලෝක ස්වාමිපාදයන් වහන්සේ ක්‍රිව. 1975 වර්ෂයේදී බිඛිල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට වැඩම කළහ. 
එතැන් සිට උන් වහන්සේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන් විනාශ වෙමින් පැවැති විහාරස්ථානය වර්තමාන තත්ත්වය දක්වා දියුණු පමුණු කරවන ලදහ. බිඛිල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ විහාරාධිපති ධුරය හොබවමින් අභාවයට යමින් තිබූ පරණ ආවාසගෙය ඉවත්කොට සතර පේරුවේ දායකාදින්ගේ උදව් ලබාගෙන නව ආවාස ගෙයක් ආරම්භකර බෝධිමලු වට ප්‍රාකාරයත්, දාන ශාලාවත්, බුද්ධ මන්දිරයේ වට මාලයේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා ඉදි කරවමින් අඳුරු බවින් හෙබි බිබිල නගරය ධර්මාලෝකයෙන් අලෝකමත් කිරීමෙහි ලා පුරෝගාමි වූහ. 
ඉන් නොනැවතුණ උන් වහන්සේ කොටසර සද්ධර්මාලංකාර පිරිවෙණෙහි ඉංග්‍රීසි ආචාර්ය ධුරය ද අනතුරුව බිබිල යල්කුඹුර ශ්‍රී විද්‍යානන්ද මූලික පිරිවනෙහි සංස්කෘත භාෂාව පිළිබඳ පරිවේණාචාර්ය ධූරයත් එහිම නියෝජ්‍ය පරිවේණාධිපති ධුරයත් හෙබවුහ. 
ඒ අනුව ප්‍රදේශයට ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ මෙහෙවර නිසාවෙන් මොනරාගල දිස්ත‍්‍රිත් උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ නායක හිමිපාණන් වහන්සේ ප්‍රදේශයට විශාල ශාසනික මොහෙවරක යෙදෙන්නාහ. 
එසේම බිබිල නිල්ගල මහ වනයේ දිවි ගෙවූ රතුගල ආදිවාසි ජනයා විදි දුක් ගැහැටින් මුදවා ගන්නට රතුගල ප්‍රදේශයේ පිහිටි ගල්ලෙනක් එළිපෙහළි කොට ක්‍රි ව. 1997 නර්ධවේවී පන්සලක් ද ඉදි කරන ලද්දාහ. ඉන් නොනැවතුන නායක හිමිපාණන් වහන්සේ රතුගල ආදිවාසි දරුවන්ට අධ්‍යාපනඥාණය ලබා දෙන්නට රතුගල ප්‍රාථමික විද්‍යාලය ඉදි කරන්නට ද පුරෝගාමී වූහ. ඒ අනුව බිබිල නගරයට පමණක් නොව මුළු මහත් වෙල්ලස්ස ප්‍රදේශයටත්, රටටත්, ජාතික, ආගමික, සංස්කෘතික ශාසනික හා සාමාජියිය උන්නතිය සඳහා අප්‍රතිහත ධෛර්ය සම්පන්නව කටයුතු කරමින් විශාල සේවයක් ඉටු කරමින් සිටින්නාහ. එවන් අතිමහත් සේවාවක් ඉටු කරන්නාවු මොණරාගල දිස්ත්‍රික් උප ප්‍රධාන සංඝනායක ධූරන්දර, බිඛිල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති හා රතුගල ආදී ගල්ලෙන් විහාරාධිපති කුඩාවිල හේමාලෝක නායක ස්වාමිපාදයාණන් වූ අපගේ සංඝ පීතෘවරයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු.