කැන්දවින්න ක්‍ෂේත්‍රාරාම විහාරාධිපති, විශ්‍රාමලත් පාඨශාලාචාර්ය, ශාස්ත්‍රවේදී පල්ලේකිරුවේ පියනන්ද හිමි.
ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වය හා සබැඳි කීර්තිමත් සඟ පරපුරක් වන පොතුබන්ධන සංඝ පරම්පරාවට අයත් සංඝ පීතෘත් වහන්සේලා වෙතින්, සම්බුද්ධ ශාසනයත්, සිංහල ජාතියත්, ශ්‍රී ලංකාද්වීපයත් වෙනුවෙන් සිදුවූ මෙහෙය ප්‍රමාණාත්මකව සඳහන් කළ නොහැකි තරම් සුවිශාලය. එම උතුම් සඟ පරපුර සෝභාවත් කරන ශ්‍රේෂ්ඨ තෙර නමකි. 2018 මැයි මස 21 දිනට පන් සැත්තෑ විය සපුරන බිඛිල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති මොනරාගල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝනායක විචිත්‍ර ධර්ම කථික අති ගෞරවාස්පද කුඩාවිල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේ. මේ මොහොතේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතයේ වැදගත් සිදුවීම් දෙස ආපසු හැරී බැලීම හැදෙන වැඩෙන මතු පරපුරට සිය වචරිත සංවර්ධනය සඳහා ආදර්ශයක් ද මඟ පෙන්වීමක් ද වනු ඇත.
තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාදස්පර්ෂයෙන් අති පවිත්‍රත්වයට පත් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ මැතිවරණ කොට්ඨාසයේ උතුරුබිම් තැන්නේ කුඩාවිල නැමැති සොදුරු බිම් පියසේ විසූ ඩබ්ලිව්. එම්. පුංචි බංඩා සහ ඊ. එච්. එම්. මැණිකා යන මව්පිය දෙපලට දාව වර්ෂ 1943 මැයි මස 21 දින ඩබ්ලිව්. එම්. ගුණබංඩා නමින් අප කතා නායකයාණෝ ජන්ම ලාභය ලැබූහ. මව්පියන්ගේ නොමද සෙනෙහස ලබමින් හැදුනු වැඩුන හුරුබුහුටි එහෙත් කටකාර මෙම පිංවත් කුමරු මූලික අධ්‍යාපනය සඳහා යොමු කළේ අම්පාර දිස්ත්‍රිකයේ ගල්ඔඩේ කනිෂ්ඨ විද්‍යාලයට ය.
කුඩාවියේ සිටම දෙමාපියන්ට කීකරුව මනා සංයමයකින් යුක්තව ගුණවත් කෙනෙක් ලෙස ක්‍රියාකළ ගුණබණ්ඩා කුමරු සෑම පොහෝ දිනකම ගමේ විහාරස්ථානයට ගොස් උපෝෂථ අෂ්ඨාංග සීලය සමාදන් වෙමින් තෙරුවන් කෙරෙහි අචල භක්තියෙන් යුක්තව කටයුතු කළේය. තම පුතුගේ චරිතය තුළ විද්‍යාමාන මෙම ගති ලක්‍ෂණ දුටු දෙමව්පියෝ ඔහු බුද්ධ පුත්‍රයකු බවට පත් කිරීමට සිහින මැවූහ. පිනින් මෝදු වූ මොහුගේ සහ දෙමාපියන්ගේ කැමැත්ත සහ පවුල් ඥාතින්ගේද මඟ පෙන්වීම මත ඒවක මහියංගණ වෙහෙර පොකුණ මාතුල රජමහා විහාරාධිපතිව වැඩි සිටි අතිගරු සේනාපතියේ ජිනරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පමුණුවන ලදින් 1955 වර්ෂයේදී යාථෝක්ත ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා වෙල්ලස්ස, බිම්තැන්න නැගෙනහිර • තෙපළාතේ ප්‍රධාන ටැම්ගොඩ රජමහා විහාරාධිපති අතිගරු සංඝකීර්ති ශ්‍රී ලුණුගල ධම්මපලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් බිඛිල භුමියට ඇතුලත් විය. ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී කුඩාවිල හේමාලෝක නමින් ප්‍රවෘජ්‍යා සංඝනායක සාමණේර භික්‍ෂුවක් විසින් උගත යුතු මූලික බණ දහම් ඉතා කෙටි කාලයක් තුළ ප්‍රගුණ කළ හේමාලෝක සාමණේරයන් වහන්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු කරන ලද්දේ ඌව පළාතේ ප්‍රධාන විද්‍යාස්ථානයක් වූ හාලිඇල උඩුවර ශ්‍රී සුධර්මාවාස පිරිවෙණටය. එහි පරිවෙණාධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ උඩුවර සීලරතන නායක ස්වාමීන් වහන්සේගේ හා පරිවෙණාධිපති කණවැරැල්ලේ සුමනසාර ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ පිරිවෙනෙහි කැපී පෙනෙන දීප්තිමත් ශිෂ්‍යයෙක් බවට පත්විය. වැඩ්කල් නොගොස්ම ගුරු සිසු දෙපිරිසගේ ඉමහත් ගෞරවාදරයට පත් වූ උන් වහන්සේ දීප්තිමත් අනාගතයක පෙර ලකුණු පහළ කරමින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි නියුක්ත වූහ. සහජයෙන්ම තමන් තුළ පැවති කථිකත්වය ඉස්මතු කරමින් වාද විවාද සහ සමිති සමාගම් වල කටයුතු වලදී පෙරමුණ ගනිමින් පිරිවෙණේ දක්‍ෂතම කථිකයා බවට පත්විය. ඉගෙනීමට මනා දක්‍ෂතාවයක් දැක්වූ උන්වහන්සේ සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ආදි භාෂාවන්ද අනෙකුත් විෂයන්ද මැනවින් හදාරා ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් උසස් ලෙස සමත්වූහ.
උගතමනා බණ දහම් මැනවින් හදාරා විසි වයස් සම්පූර්ණව සිටි කුඩාවිල හේමාලෝක පොඩි හාමුදුරුවන් වහන්සේ 1963 වර්ෂයෙදී මහනුවර සුපරිශුද්ධෝපසම්පදාව ලබාගත්හ. උපසම්පදාවෙන් පසු තම ගුරු දේවයන් මල්වතු මහා විහාරස්ථ උපෝසථාගාරයේදී අධිසීල ශික්ෂා සංඛ්‍යාත වහන්සේගේ මඟ පෙන්වීම මත වෙහෙර පොකුණ මාතුල රජමහා විහාරස්ථානයට වැඩම කොට ගුරු හිමියන්ටද ශක්තියක් වෙමින් තම ආගමික හා සාමාජික සේවාවන් ආරම්භ කළහ. ටික කලක් වෙහෙර පොකුණ විහාරස්ථානයේ වැඩසිටි උන්වහන්සේ තම ගුරු හිමියන්ගේද ආශිර්වාදය මත තමන් පැවිද්දට පත්වු බිඛිල ශ්‍රී බෝධිරුක්ඛාරාමයට වැඩම කිරීමට තීරණය කළහ. විහාරස්ථානයේ මතු දියුණුව අපේක්‍ෂාවෙන් 1975 වර්ෂයේ බිඛිල ශ්‍රී බෝධිරුක්ඛාරාමයට වැඩමවීම වෙල්ලස්ස ප්‍රදේශයට පෑයු නව හිරු කිරණක් හා සමාන විය. උන් වහන්සේගේ වැඩමවීමත් සමඟ බිබිල වෙල්ලස්ස ප්‍රදේශයේ විශාල ආගමික හා ශාසනික ප්‍රබෝධයක් ඇති වන්නට විය. ස්වකීය කථිකත්වය, සංවිධාන ශක්තිය හා තාරුණ්‍ය උපයෝගී කර ගනිමින් බිඛිල ශ්‍රී බෝධිරුක්ඛාරාමය කේන්ද්‍ර කරගත් සුවිසල් මෙහෙයක් වෙල්ලස්ස ප්‍රදේශයට සිදු කිරීමට උන් වහන්සේ උත්සාහ කළහ. විහාරස්ථානයෙන් ඉටු වියයුතු යුතුකම් කොටස නියමාකාරයෙන් ඉටුනොවූ යුගයක උන්වහන්සේගේ සම්ප්‍රාප්තිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථදායක කාරකාදීන්ට ද මහා අස්වැසිල්ලක් විය. අප හිමිපාණන් වහන්සේගේ ආගමික හා සාමාජික සේවාව ආරම්භ වන්නේ බිඛිල ශ්‍රී බෝධිරුක්කාරාමය කේන්ද්‍ර කරගනිමින් කලක් ප්රාවාසව විනාශ මුඛය කරා ගමන් කරමින් පැවැති විහාරස්ථානය අංග සම්පූර්ණ සිද්ධස්ථානයක් බවට පත් කිරීමට උන්වහන්සේ විශාල පරිශ්‍රමයක් දැරූහ. බිබිල නගරයේ පිහිටි විහාරස්ථානයක් බැවින් දුර ගමන් වල යෙදෙන ස්වාමීන් වහන්සේලා නිරතුරුවම එම ස්ථානයට පැමිණෙති. උන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් නොතිබු බැවින් දායක පිරිසගේද සහයෝගය මත සංඝාවාසයක් ද දාන ශාලාවක් ද ඉදි කොට එම පහසුකම් සැලසීය. තවද බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාව පිණිස අලංකාර බෝධිප්‍රාකාරයක්ද, ඉඩකඩ සහිත ධර්මශාලාවක්ද, දැකුම්කලු විහාර මන්දිරයක්ද, නාහිමියන්ගේ මඟ පෙන්වීම මත ඉදිවිය.
ප්‍රදේශවාසී දූ දරුවන්ගේ ධර්මඥානය වඩා වර්ධනය කිරීමේ අරමුණ මත 1978 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී සුමනතිස්ස දහම් පාසල අදවන විට විශාල සිසුන් පිරිසක් ඉගෙනුම ලබන බිබිල ශාසනාරක්‍ෂක මණ්ඩලය තුළ පිහිටි විශිෂ්ටතම දහම් පාසල බවට පත්ව තිබේ. විවිධ අගහිඟකම් වලින් පෙළෙන දරුවන්ට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද යුනිවර්ස් උසස් අධ්‍යාපන ආයතනය තුළින් තම අනාගතය දීප්තිමත් කරගත් තරුණ පිරිස විශාලය. 1980 වර්ෂයේ බිඛිල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරයට පත්වූ හේමාලෝක ස්වාමීන් වහන්සේ ඉතා ක්‍රියාශීලී මෙහෙයක් ඉටු කරමින් ප්‍රදේශයේ දහම් පාසල් තුළ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට ගත් තැත ප්‍රශංසනීයයි. දීර්ඝ කාලයක් පරිවෙණාවාර්යයන් වහන්සේ නමක් වශයෙන් ක්‍රියා කරමින් විශාල බුද්ධිමතුන් පිරිසක් සමාජයට දායාද කිරීමට වෙරදැරූහ. උන් වහන්සේ සතු සිංහල, පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වය මේ සඳහා බෙහෙවින් උපකාරී විය. 1993 වර්ෂයේ සිට බිඛිල සමථ මූල මණ්ඩලයේ සමථ කරුවෙකු වශයෙන් කටයුතු කරන උන් වහන්සේ සතර අගතියෙන් තොරව යුක්තිය පසිඳලීම පිළිබඳ ආදර්ශය ක්‍රියාවට නැංවූහ. භික්‍ෂුවක් වශයෙන් එහිදි සිදු කරන ලද කාර්යභාරය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්විය. අපේ නායක ස්වාමීන් වහන්සේ අති දක්‍ෂ ධර්ම කථිකයන් වහන්සේ නමකි. උන්වහන්සේගේ දම් දෙසුම් ශ්‍රවණය කිරීමට සෑම වයස් මට්ටමකම පිරිස් දක්වන්නේ ඉමහත් උනන්දුවකි. කැමැත්තකි. උපහාස රසයෙන් අනුන, අගය කළ යුතු තැන් අගය කරමින් පහර දිය යුතු තැන් වලට පහර දෙමින් සරළ බසින් හා ගැඹුරු හඬින් උන් වහන්සේටම ආවේණික සිත් ගන්නා ශෛලියකින් පවත්වන ධර්ම දේශනා බොදුනුවන්ගේ අතිශය ප්‍රසාදයට ලක්විය. උස් මිටිකම් කුලමල භේද, දුප්පත් පොහොසත් භේද නොතකා සැබෑ බුද්ධ පුත්‍රයෙකු ලෙස කටයුතු කරන උන්වහන්සේ අව්වැසි නොතකා යාන වාහන පහසුකම් නොසලකා තම දායක පිරිසගේ පමණක් නොව අවට විහාරස්ථාන වල පවා ආගමික කටයුතු ඉටුකර දීමට දක්වන්නේ දැඩි උනන්දුවකි.
මේ නිසයි උන්වහන්සේ ළමා, තරුණ, වැඩිහිටි ගිහිපැවිදි සියලු දෙනාගේ ආදරයට පාත්‍ර වූයේ කුමන ගැටලුවක් වුවද අර්ථවත් සරල විහිලුවකින් විසඳාලීම කෙරෙහි හේමාලෝක හිමියන්ට ඇත්තේ සහජ දක්‍ෂතාවයකි. නාහිමිපාණන්ගේ සේවාවන් අතර අගය කළයුතු තවත් සේවාවකි. බිඛිල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දොඩම්ගොල සෝරත හිමි සහ බිබිල මහාමාත්‍ය විද්‍යාලයේ ආචාර්ය වැඩකළ හැකි දක්‍ෂ ශිෂ්‍ය පරපුරක් නිර්මාණය කිරීම. ශාස්ත්‍රවේදි පූජ්‍ය රත්තනදෙනියේ සෝභිත හිමි වැනි ගිහි පැවිදි රටට අපේ නාහිමිපාණන් වහන්සේගේ ඉහත සේවාවන් අගය කළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක නාහිමියන් ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් උන් වහන්සේ වෙත ´´සංඝ කීර්ති ශ්‍රී සුනන්ද’” යන ගෞරව නාම සම්මුතිය සහිතව මොණරාගල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා වදාරන ලදී. එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයටම බලපාන පරිදි ශ්‍රී ලංකා ජනරජයෙන් සාම විනිසුරු පදවියක් අගය කිරීමක් වශෙයනි. පිරිනමන ලද්දේද උන්වහන්සේගේ ජාතික ශාසනික හා සාමාජීය සේවාව හේමාලෝක නායක ස්වාමීන් වහන්සේ සතු උපේක්‍ෂා ගුණය හා ඉවසීම පුදුම සහගතය. ඇතැම් අවස්ථාවල ගිහි පැවිදි පිරිස් වෙතින් උන් වහන්සේ වෙත එල්ලවූ අපහාස උපහාස වැනි ගල්මුල් ප්‍රහාර වලදී මෙන්ම විවිධ කෙනෙහිලි කම් වලදි ඒවාට මුහුණදුන් අන්දම ආදර්ශ සම්පන්ය. ඒ කිසිවෙකුගෙන් පලිගැනීමට හෝ වෛර කිරීමට ගියේ උන් වහන්සේ නොවේ. පදවි තානාන්තර, නම්බුනාම, ගුණවැනුම්, ප්‍රශස්ති, තඹදොයිතුවකට මායිම් නොකරන උන්වහන්සේ ඒ සියල්ල සලකන්නේ හිස් මිනිසුන්ගේ අපේක්‍ෂා ලෙසයි. තම විහාරස්ථානය සතු සියලු වගකීම් ශිෂ්‍ය පුත්‍රයින්ට පවරා නිදහස් ලෙස කල් ගෙවීමෙන් ඒ බව මැනවින් සනාථවේ.
ගත රැදි චීවරය, අත රැදි පත්කඩය, දෙපා රැදි වහන් යුගලය හැරුණු විට වෙනත් යමක් නාහිමියන් සතු දැයි සිතිය නොහැක. පියාපත් බර පමණක් උසුලන පක්ෂියෙකු සේ උන්වහන්සේ නිදහසේ සැරිසරති. දයා දාක්‍ෂිණ්‍යාදි ගුණයන්ගෙන් පිරිපුන් නාහිමියන් තමන් සතු සියලු දේ අන් අයට ඛෙදා හදාදි සතුටු වන විරල ඝනයේ පුද්ගලයෙකි.
කරුණාවෙන් තෙත්වූ හද මඩලක් උරුම, පරිත්‍යාගය ජීවිතය කරගත්, උජුපටිපන්න ගුණයෙන් අනූන, කිවයුතු දේ කවරෙකු ඉදිරියේ වුවද නොබියව පවසන, ඉසිකෝ මාන තෘෂ්ණාදි දුර්ගුණ පිළිවෙත් බවට පත් නොකර ගත්, අපේක්‍ෂාවන් හඹා නොයන, සන්තුට්ඨිතා ගුණය හා සුභර ගුණය ජිවිතාදර්ශය කරගත්, අහස කඩා වැටුණත් නොසෙල් වීසිටිය හැකි හේමාලෝක නාහිමියන් වැනි පුද්ගලයින් දක්නට ලැඛෙන්නේ කලාතුරකිනි.
මෙය නොවේද සැබෑ භික්‍ෂු ජීවිතයක අරුත. උපතින් පන් සැත්තෑ වියක්ද, පැවිද්දෙන් හැටතුන් වියක්ද, උපසම්පදාවෙන් පනස්පන් වියක්ද ගෙවා ඇති කුඩාවිල හේමාලෝක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට තවත් දිගු කලක් සසුන් වැඩ වැඩීම සඳහා දීඝායු සැලසේවායි පතමි.